01) සහකරුවෙක් – හැම යුවතියකගේම හිත කොනක රැඳුනු සිහින කුමාරයෙක් ඉන්නවා. අනාගතේ ගැන පොදි බැඳ ගත්තු හීන ගොන්න යතාර්ථයක් කර ගන්නට මේ හීන කුමාරයා අත්වැලක් වේවි කියන එක ඔබේ බලාපොරොත්තුවක්. එවැනි විශ්වාසවන්ත සහකරුවෙකු ජීවිතයට ලං කරගන්න. ඔහු ඔබට වඩා ළබැඳි ආදරවන්තයෙකු සේම ඔබ හොඳින් තේරුම් ගත් අයෙකු විය යුතුමයි.

02) රැකියාවක් /ව්‍යාපාරයක් – ඉස්සර තිබුණා වගේ සරල ජීවන රටාවක් නොවේ අද තිබෙන්නේ. හැම දෙයක්ම මුදලට. වතුර ටිකත් බෝතල් කරලා විකුණනවා. ඉතින් තමුන්ගේ වියදම් අනුන් මත නොතබා තමන්ම උපයා ගන්නට 35 වෙනවිට බැරි නම් එක අතකින් ඔබ අසාර්ථක චරිතයක්. ඔබේ දැනුමට, හැකියාවන්ට සරිලන විදියට රැකියාවකට යොමු වී තිබිය යුතුයි. නැතිනම් තමන්ගේම ව්‍යාපාරයක්, ආදායම් මාර්ගයක් ගොඩ නගා ගෙන තිබිය යුතුයි. හැකි නම් ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව තවත් අමතර ආදායම් මාර්ග හදා ගන්න. අනෙක් අතට ඔබේ මුදල්වලට ඔබ වෙනුවෙන් වෙහෙසී මුදල් උපයන්නට දෙන්න.

03) හදිසියකට බැංකු ගිණුමක් – ඔබේම පුද්ගලික බැංකු ගිණුමක මුදල් ඉතිරි කරන්න. ඉතාමත් හදිසි අවශ්‍යතාවයකදී හැරුණු විට කිසිම ලෙසකින් මේ මුදල් භාවිතයට නොගත යුතුයි. මේ මුදල් පාවිච්චි කළත් හැකි පළමු අවස්ථාවේදීම නැවත ඒ මුදල තැන්පත් කරන්න.

04) විශ්වාසවන්තම මිතුරෙක් / මිතුරියක් – ඔබේ ජීවිතයට වඩාත්ම සමීපතම වගේම විශ්වාසවන්තම මිතුරු/මිතුරියන් පමණක් ඇසුරු කරන්න. “විස්සාස පරමා ඤාති” කියලා බුදු බණේ පවා කියලා තියෙන්න ඒ නිසානේ. දුකේදීත් සැපේදීත් ඔබ අත නොහරින විශ්වාසවන්තම මිතුරු මිතුරියන් හැරුණු විට කෑමට, බීමට, වාසියට විතරක් ඉන්න අනිත් උන්නැහේලා ටික හලලා දාන්න දෙවරක් හිතන්න එපා.

05) හැඩ ඇඟක් – 30 පැන්නයින් පස්සේ පෙනුම, සිරුරේ හැඩය ගැන උනන්දු වන්න, පෝෂ්‍යදායි කෑම-බීම වගේම, gym යන්න නැතිනම් aerobics නැතිනම් Zumba වගේ ව්‍යායාමවල යෙදීම, එහෙමත් නැතිනම් උදේට/හවසට jogging යන්න, ගෙදර වැඩපල කරන්න පුරුදු වෙන්න. 18-20 කිරි කජු වයසේ කෙල්ලන්ට වඩා හැඩට ඉන්න, දැක්ක ගමන් ඕනෑම කෙනෙක් දෙවරක් බලන්න හිතෙන 30-40 පැනපු කාන්තාවන් ඕනෑ තරම්. වයසිනුත්, සිරුරෙනුත් පරිණත වෙලා ඔබ හොඳ පෞරුෂයකින් කැපී පේන්න නම් 30+ වෙන්නම ඕනෑ.

06) හොඳ මනසක් – වැරදි කිරීම, වැරදි වීම, වරද්දා ගැනීම මනුස්ස ගතිය. දැන දැන වැරදි කරන්න යන්න එපා. එකම වැරැද්ද දෙවරක් නොකරන්න තරම් හිතට ගන්න. හිතට එකඟව, මනස නිරවුල්ව ඕනෑම දෙයක් යෙදෙන්න. වරදින්නේ නැහැ. තමුන් අදහන, විශ්වාස කරන ආගමකට, ධර්මයකට අනුව යහපත්ව, නිරවුල් මනසකින් ජීවත් වන්න.

07) තමන්ගේම කියලා වහලක් – කුලී නිවාස, බෝඩිං වෙනුවට පුංචියට හරි, හැකි තමුන්ට පුළුවන් විදියකට තමුන්ගේම කියලා පුංචි නිවහනක් හරි ගොඩ නගා ගන්න උත්සාහ කරන්න. අනුන්ගේ තැනක අනුන්ට ඕනා විදියට ඉන්නවාට වඩා තමුන්ගේ තැනක වැටිලා ඉන්න එකෙන් ලැබෙන මානසික සතුට විස්තර කරන්න බැහැ. අත්දැකීමෙන් ලැබිය යුතු එකක්.

08) ඔබේම අනන්‍යතාවයක් – කාගේවත් කොපියක් වන්න එපා. 30+ වන විට තොරෝම්බෝල් කරත්තයක් වෙලා බෑ. ඔබට, ඔබේ සිරුරට ගැලපෙන ඔබේ අනන්‍යතාවය පෙන්වන විලාසිතාවනට යොමු වන්න. ගැලපෙන තැනට ගැලපෙන විදියට sexy විදියට ඇන්දට වරදක් නැහැ. 30+ ඔබෙන් පෙනෙන hot පෙනුම 18 අය ළඟ නැති බව මතකයේ තබා ගන්න.

09) ණයත් නෑ…බයත් නෑ – කුමන විදියට හෝ ලබා ගෙන ඇති ණය තුරුස් ඇත්නම් ඒවා හැකි පමණින් ගෙවා දමා නිදහස් වන්න. ණයෙන් වගේම හිතෙනුත් ලොකු නිදහසක් ලැබේවි. ව්‍යවසායිකාවක ලෙස ණය, අයිරා ලබා ගෙන ඇත්නම් ඒවාට සරිලන ලෙස උපයන්න වගේම ආයෝජනය කරන්නත් අමතක කරන්න එපා.

10) ඔබ දැන් වැඩිහිටියෙක් – මම දැන් වැඩිහිටියෙක්. මා වෙත පැවරුණු වගකීම් බහුලයි. ජීවිතය සැහැල්ලුවෙන් ගෙවා දමන්න තරම් ලඳ බොළඳ වයසක නොවේ මම ඉන්නේ. මගේ ඉලක්ක මම ජය ගත යුතුයි. ජයගත් දේ රැක ගත යුතුයි. මේ ටික හොඳින් හිතට ගන්න. ජයෙන් ජය.

Book vector created by freepik – www.freepik.com