COVID-19 ව්‍යාප්තිය මේ සියවසේ මුහුණ පෑමට සිදුවුණු අතිශය බියකරුම වසංගත තත්ත්වය බවට අද දවස වන විට පත්වෙලා. මේ මොහොත වන විට ලොව පුරා අහිමි වුණු ජීවිත ගණන 20,519ක්. ආසාදිතයින් ගණන 453,074ක්. ලෝකයේ රටවල් 196ක සහ ජපානයේ යොකොහාමා වාරයේ නවතා ඇති “ඩයමන්ඩ් ප්‍රින්සස්” නෞකාවේ පවා රෝගය ව්‍යාප්ත වෙලා. ඉතාලියේ මරණ 7,503, රෝගයේ මුල්බිම වන චීනයේ මරණ 3,281, ස්පාඤ්ඤයේ 3,434, ඉරානයේ 2077, ප්‍රංශයේ 1,100 ලෙස මේ මරණ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිනවා. මුල් ආසාදිතයින් ලක්ෂය සම්පූර්ණ වීමට දින 60කට වැඩි කාලයක් ගත වුණත් අවසන් රෝගීන් ලක්ෂය දින 2-3ක් ඇතුලත හමුවීම රෝගය ව්‍යාප්තියේ උච්ච අවස්ථාවට පැමිණෙමින් සිටින බවට ඉඟියක්. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ කළා.