90 දශකය අග භාගයේ වගේම සහශ්‍රය ආරම්භවූ කාලයේ අපිට අහන්න ලැබුණු බටහිර ගායිකාවන් කීප දෙනෙකුගේ ගී කීපයක් මේ. අද ඒ තරම් ම අහන්නට නොලැබුණත් අපිව ඒ මිහිරි අතීතයට ගෙනයන මේ ගීත මතක ද?
සංගීතයට සීමා මායිම් නැහැ. පද රචනා කුමන බසකින් තුබුණත් නාද මාලා අමතන්නේ හදවතට. ඒ නිසා සංගීතය විශ්ව භාෂාවක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් ඉංග්‍රීසි ගීත ලෝකයේ බොහෝ අස්සක මුල්ලක නෑර අසන්නට ලැබෙන්නේ ලෝකයේ බහුලවම භාවිත වන භාෂාවකින් ගැයෙන නිසාවෙන්. අද තරම් තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් නොතිබුණු ඒ කාලේ පවා ගුවන් විදුලියෙන් වගේම රූපවාහිනී මාධ්‍යයෙන් ඇසූ සමහර බටහිර ගීත අදටත් අපේ මතකයේ රැඳී තිබෙනවා. 90 දශකය අග භාගයේ වගේම සහශ්‍රය ආරම්භවූ කාලයේ අපිට අහන්න ලැබුණු බටහිර ගායිකාවන් කීප දෙනෙකුගේ ගී කීපයක් මේ. අද ඒ තරම් ම අහන්නට නොලැබුණත් අපිව ඒ මිහිරි අතීතයට ගෙනයන මේ ගීත මතක ද?
ඇමෙරිකානු ජාතික ගායිකාවක වන ජෙනිෆර් ලෝපේස් ගේ පළමු ගීතය “If You Had My Love” වන පසු කාලීනව ඇගේ පළමු ගීත ඇල්බමය වන On the 6 හි පවා ඇතුලත් වුණා.පුවොටෝරිකානු සම්භවයක් ඇති පවුලකින් පවත එන ජෙනිෆර් ලෝපේස් නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් ලෙස නමක් ගොඩ නගා ගෙන සිටියත් ඒ සියල්ල අභිබවා සංගීත ලෝකය අතික්‍රමණය කරන්නට සමත් කළේ මේ ගීය. මධ්‍යම ඇමෙරිකානු කාන්තාවන් සතු ආකර්ශනීය සරාගී පෙනුම උපතින්ම කැටි කර ගත් ඇය මුළු ලෝකයක්ම වශී කරගත්තේ රූපයෙන් මෙන්ම ඇගේ මේ අපූරු හඬ නිසාවෙන්. Pop/R&B ආරට අයත් If You Had My Love ගීතය Billboard Hot 100, UK Singles Chart ඇතුළු ගීත දර්ශක රැසක පළමු තැනට පැමිණෙන්නේ 1999දී ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් පිටපත් මිලියන 1.2ට වඩා අලෙවි වෙමින්.
මේ ගීතයත් 1999 නිකුත් වුවක්. ඒ වන විට 19 වන වියේ පසු වුණු ක්‍රිස්ටිනා ඇගියුලේරා(Christina Aguilera) එක රැයකින් ම සංගීත ලෝකයේ පෙරළිකාරී චරිතයක් වුණේ මේ “Genie in a Bottle” ගීය නිසා. ඇගේ පළමු ගීත ඇල්බමයේ ඇතුලත් වුණු Dance-pop/R&B ගණයේ මේ ගීතය ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක ගීත දර්ශක රැසක ඉහලින් වැජඹුණා. ඇමෙරිකාව තුල පමණක් 1999 වසරේ පිටපත් මිලියන 1.4ක් අලෙවි වුණු අතර ඒ වසරේ ඉහලම අලෙවියක් දැක්වූ ගීත අතරින් එකක් වුණා. පසු කාලීනව සරාගී රූප දර්ශන ඇතුලත් වීඩියෝ නිර්මාණ සමග ජනප්‍රියත්වයක් ලැබූ ක්‍රිස්ටිනා ඇගියුලේරා මේ ගීතය තුල නම් නව යොවුන් වියේ හුරුබුහුටි තරුණියක ලෙස පෙනී සිටින්නේ එවැනි සරාගී රූප රාමු සහිතව නම් නොවේ.
ඕස්ට්‍රේලියානු ජාතික ගායිකාවක වන කයිලි මිනෝ(Kylie Minogue)ගේ Spinning Around ගීතය නිකුත් වන්නේ 2000 ජූනි මාසයේ. ඒ ඇගේ සත්වන ගීත ඇල්බමය වන “Light Years” ඇල්බමය සමග. 80 දශකයේ අග භාගයේ සංගීත ලෝකයට පිවිසි කයිලි ශරීර ප්‍රමාණයෙන් කුඩා අයෙක් වුණත් ඇගේ හුරුබුහුටි පෙනුම නිසා ඒ යුගයේ තරුණයින්ගේ සිහින කුමරිය වුනා.වසර කීපයක නිහැඬියාවකින් පසු නැවතත් සංගීත ලෝකයේ කයිලිගේ ස්ථානය තහවුරු වන්නේ මේ Dance-pop/Disco ශෛලියේ “Spinning Around” ගීතය නිසා. නව යොවුන් වයස පසු කරගෙන ගිහින් ඒ වන විට මැදි තිස් වියේ පසුවුණු කයිලි ඉදිරිපත් කළ හුරුබුහුටි, සරාගී, පරිණත ගැහැණියකගේ ස්වරූපය නැවතත් ඇගේ රසිකයින්ගේ හදවත් දිනා ගන්නට සමත් වුණා. ඔස්ට්‍රේලියාව ද ඇතුළුව ගීත දර්ශක රැසක මුල් පෙළ නියෝජනය කළ Spinning Around ගීතය ARIA Music Award හි හොඳම pop ගීතය ලෙස වගේම ARIA ප්ලැටිනම් ශ්‍රේණිගත කිරීමක් ලැබුවා.
ගිනස් වාර්තාවලට පවා හිමිකම් කියන මෙරායා කැරේ(Mariah Carey)ගේ හත්වන ගීත ඇල්බමය වූ “Rainbow” හි ප්‍රධාන ගීතය ලෙස එලි දැක්වුණු Heartbreaker ගීතය R&B/Hip-Hop/Pop ගණයට අයත් එකක්. සුප්‍රසිද්ධ රැප් සංගීතඥ Jay-Z සමග ඉදිරිපත් කළ මේ ගීතය Billboard Hot 100හි පළමු ස්ථානය සනිටුහන් කළ ඇගේ ගී අතර 14 වන ගීය වුණා. 1999 සැප්තැම්බරයේ නිකුත් වුණු Heartbreaker රටවල් ගණනාවක ගීත දර්ශකවල මුල් ගී අතර වැජඹුණු අතර එහි වීඩියෝ නිර්මාණය පවා ආකර්ෂණීය එකක් වුණා. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් පමණ වැය කර නිපදවූ එම වීඩියෝ නිර්මාණය එම වසරේ වැඩිම වියදමකින් නිමවූ ගීත වීඩියෝ අතර එකක්.
ඇමෙරිකානු R&B සංගීත ත්‍රිත්වයක් වුණු Destiny’s Child සංගීත කණ්ඩායමේ මේ ගීතය මුල් වරට අසන්නට ලැබුණේ 2000දී තිරගත වුණු Charlie’s Angels චිත්‍රපටයෙන්. පසු ව 2001 දී නිකුත් කළ Survivor ගීත ඇල්බමය තුල ද අන්තර්ගත මෙම ගීය කාන්තාවගේ ස්වාධීනත්වය ගැන සඳහන් වුවක්. මේ නිසා මෙය කාන්තා ලෝකයේ ජය ගීයක්(Anthem) ලෙස අතිශය ජනප්‍රිය වුණා. Billboard Hot 100 ගීත දර්ශකයේ අඛණ්ඩ සති එකොළහක් පළමු ස්ථානයේ පසු වූ Independent Women කාන්තා සංගීත කණ්ඩායම් ගීත අතුරින් Billboardහි 77වන ස්ථානයේ පසුවනවා.
එක රැයකින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණි Pop ගීත ගොන්නේ අමතක නොවන ගීතයක් ලෙස බ්‍රිට්නි ස්පියර්ස් ගේ Baby One More Time ගීතය හඳුන්වන්නට පුළුවන්. ඇමෙරිකානු රියලිටි වැඩසටහනක් වූ The Mickey Mouse Club මගින් කල එළි බට බ්‍රිට්නි සංගීත ලෝකයේ තමන්ගේ ස්ථානය සටහන් කළේ 1998දී නිකුත් කළ ඇගේ පළමු ගීතය වන Baby One More Time සමගින්. පසුව එම නමින්ම හැඳින්වූ ඇගේ පළමු ගීත ඇල්බමය තුලද මෙය අන්තර්ගත වුණා. රටවල් 18කට අධික ප්‍රමාණයක ගීත දර්ශකවල පළමු ස්ථානය ලබා ගැනීමට මේ ගීය සමත් වුණා. මිලියන 10කට අධික පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති මේ ගීතය වැඩිම අලෙවියක් ඇති ගීත(best-selling singles of all time) ගොන්නට අයත් වනවා. විශේෂයෙන්ම ඒ යුගයේ යොවුන් පරපුර අතර උන්මාදයක් ලෙස පැතිරුණු ගී අතුරින් එකක්.
කැනේඩියානු ජාතික ශේනායා ට්වේන්(Shania Twain)ගේ තුන්වන ගීත ඇල්බමය වුණු Come on over හි අන්තර්ගත වුණු ගීතයක් වුණු You’re Still the One ජාත්‍යන්තර මට්ටමින් ජනප්‍රිය වුණු පළමු ගීතය වුණා. Country Music ගණයේ ගායිකාවක් වුණු ශේනායා ට්වේන් ගැයූ මේ ගීය Country-pop ගණයට අයත් එකක්. Best Country Song සහ Best Female Country Vocal Performance වෙනුවෙන් Grammy සම්මාන දෙකක් දිනා ගැනීමට පවා සමත් වුණා. අදටත් ආදර ගීත ගොනුවේ සදා රැඳෙන ගීයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.
මේ 1997- 2001 කාලයේ ජනප්‍රිය වුණු ඉංග්‍රීසි කාන්තා ගී අතරින් 07ක් පමණයි. තවත් මෙවැනි ගී කීපයක් සමගින් නැවත හමු වෙමු. ඔබේ මතකයේ රැඳුනු මෙවැනි ගී ඇත්නම් අපට දන්වා එවන්න. අපේ hello[at]zestgirls[dot]com විද්‍යුත් තැපැල් ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…