මවක් යනු මෙලොව ඇති උතුම්ම පදවිය බව අපි දනිමු. ලොකු ලොකු තානාත්තර අපට නොයෙක් විට දී ලබා ගත හැකි වූව ද අම්මා යන පදවිය එලෙස ලබා ගත හැකි එමෙන්ම ගෞරවාදරයට පත් විය හැකි වෙනත් තානාන්තරයක් මෙලොව නැත. මවු පදවියත් සමඟ ම තාත්තා යන පදවිය ද ඒ සමාන තැනක් හිමි වේ.

කාන්තාවක හා පුරුෂයක විවාහ පත් වූ පසු ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ තමන්ගේ කිරි කැටියකුගේ සුරතල් බැලීමයි. ඒ කිරි සිහිනය සැබෑ වන තුරු ඔවුන් දින ගනිති. ඒ කිරි සිහිනය ඔවුන්ගේ ජීවිත වලට නව බලාපොරොත්තුවක් ඇති කරති. දවසින් දවස ඒ කිරි සිහිනය සැබෑ වෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිති. එලෙස බලා සිටින නව යුවළකගේ සුබ පණිවුඩය හඟවන පළමු ලකුණ වන්නේ මාස් ශුද්ධියේ සිදු වන ප‍්‍රමාදයයි. මේ සමඟ ම ඔවුන් යම් කළබලයකට ද පත් වෙති. නමුත් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ම මේ සම්බන්ධන්දව නිවසේ දී ම මූලික විනිශ්චයකට එළැබීමට ඔබට හැකියාව ඇත. ඒ කොහොම ද?

People photo created by 4045 – www.freepik.com

HCG Strip” යනු මේ වන විට ලොව ඉතා පහසුවෙන් ගර්භණී බව බලා ගැනීම සදහා සකසා ඇති පරීක්ෂණ පටියක්.

මේ පිළිබඳ ව ඔබ කොතෙකුත් අසා තිබුණ ද මෙය භාවිතය පිළිබඳ ව යම් ගැටළුවක් හෝ බියකින් ඔබ පසුවෙනවා ඇත. ඒ නිසා මේ “HCG Strip” භාවිත කරන ආකාරය පිළිබඳ ව අපි මෙමගින් කතා කිරීමට සිතුවෙමු.

මාස් ශුද්ධිය ප‍්‍රමාද වීම යනු ගැබිනි බව සම්පූර්ණයෙන් ම තහවුරු කිරීමට ම හේතු වූ සාධකයක් නොවේ. යම් විවාහ පත් වූ කාන්තාවකගේ මාස් ශුද්ධිය ප‍්‍රමාද වීමත් සමඟ ම ඔබ දරුවකු අපේක්ෂාවෙන් සිටියා නම් එසේත් නැත්නම් ඔබ ගැබ් ගත් බව තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් “HCG Strip” භාවිතා කිරීමෙන් වෛද්‍යවරයකු වෙත නොගොස් ඔබට එය නිවසේ දී ම තහවුරු කර ගත හැකි වේ.

මේ “HCG Strip” කොහෙද තියෙන්නේ…?

ඔබට ඔබේ ප‍්‍රදේශයේ ඇති ඕනෑම ෆාමසියකින් ”HCG Strip” හෝ “pregnancy Testing Strip” ලෙස ඉල්ලීමෙන් මෙම පරීක්ෂණ පටි මිල දී ගත හැකි වේ. රුපියල් 20 – 40ත් අතර ඉතා සුළු මුදලකින් මෙම පරීක්ෂණ පටි මිල දී ගත හැකි ය.

මොකක් ද මේ ”HCG Strip” එකෙන් වෙන්නේ?

”HCG” – Human Chorionic Gonadotropin ගර්භණී අවධියේ දී කාන්තා ශරීරයෙන් නිපදවනු ලබන හෝමෝනයක් වේ. කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව පමණක් මෙම හෝමෝනය නිපදවයි. ගර්භණී සමයේ පළමු සති 8ත් 10ත් අතර කාලයේ දී ”HCG” මට්ටම වේගයෙන් ඉහළ යන අතර දරු ප‍්‍රසූතියෙන් පසු ක‍්‍රමයෙන් පහත වැටීමට ලක් වේ.

දරු ගැබ පිළිසිඳ ගත් පසු එම යුක්තානුව ගර්භාෂයට සවිවිමේ දී Human Chorionic Gonadotropin මුත‍්‍රාවලට එකතු වීමක් සිදු වේ. ඒ අනුව කාන්තාවගේ ඔසප් චක්‍රයේ ප්‍රමාදයත් සමඟ ම සති 1ත් 2ත් අතර කාලයේ දී මෙම පරීක්ෂාව සිදු කිරීමට හැකිවේ. කෙසේ වෙතත් යම් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙමගින් ලැබෙන ප‍්‍රතිඵල වෙනස් විය හැකිය.

”HCG Strip” එකෙන් ගර්භණී භාවය පරීක්ෂා කරන්නේ කොහොම ද?

ගොඩක් දෙනෙක් හිතනවා ඇති මේක ඉතා අපහසු සහ අමාරු පරීක්ෂාවක් කියලා. ඇත්තෙන්ම නැහැ. ලොව බොහෝ දෙනෙක් ගර්භණී බව පරීක්ෂා කරන්න භාවිත කරන පහසුම පරීක්ෂාව මෙම ”HCG Strip” භාවිතය. ඒ වගේ ම ලොකු වියදමක් නැති ව කිරීමටත් හැකියාව තියෙනවා. මෙහිදී ඔබ ලොකු අවදානමක් හෝ බියක් ඇති කර ගත යුතු නැහැ. ඒ සඳහා ඔබ සූදානම් කර ගත යුත්තේ ”HCG Strip” එකක් හා මුත‍්‍රා දැමීම සඳහා සුදුසු භාජනයක් පමණයි.

ඔබ මිල දී ගත් ”HCG Strip” එක සහිත බහලුමේ එම පරීක්ෂාව සිදු කරන ආකාරය රූප සටහන් සහිතව පෙන්වා දී තිබෙනවා. එය පළමුව කියවා එම දී ඇති උපදෙස් අනුව පරීක්ෂණය සිදු කිරීම කළ යුතු ය.

දැන් අපි බලමු මේ පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියලා...

මෙය ඔබට දවසේ ඕනෑම වේලාවක දී සිදු කළ හැකි පරීක්ෂණයකි. එනමුත් උදෑසන කාලයේ දී මෙම පරීක්ෂණය සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ. එයට හේතු වන්නේ උදෑසන මුත‍්‍රා වැඩි සාන්ද්‍රණ තත්ත්වයෙන් පැවැතීමත් එහි වැඩි ”HCG” මට්ටමක් පැවතීමත් හේතුවෙන් ඔබේ පරීක්ෂණයේ ප‍්‍රථිපල සාර්ථක වීමට ඉඩකඩ වැඩිවීමත් ය.

මෙහි දී ඔබ පළමුව කළ යුත්තේ ඔබ විසින් මුත‍්‍රා සාම්පලයක් ලබා ගැනීමයි. ඒ සඳහා මුත‍්‍රා මාර්ගය නිසි පරිදි පිරිසුදු කර ඔබ විසින් පෙර සපයා ගත් පිරිසුදු භාජනයට මුත‍්‍රා සාම්පලය එකතු කර ගත යුතු වනවා.

ඉන් පසු ”HCG Strip” එක සහිත බහ ̈ම විවෘත කර එහි ඇති ”HCG Strip” එක පිටතට ගෙන පහත පරිදි එය මුත‍්‍රා සාම්පලය තුළ ගිල්විය යුතු වේ. එනම් ”HCG Strip” එකෙහි සඳහන් ”MAX line” එක තෙක් හෝ ඊට ආසන්න වන තෙක් මුත‍්‍රාවල ”HCG Strip” එක ගිල්වීම කළ යුතු ය. ”MAX line” එකට උඩින් මුත‍්‍රාවල ගිල්වීම නොකළ යුතු වේ. යම් හෙයකින් එලෙස ගිල් වී ගිය හොත් එම`ගින් ඔබ අපේක්ෂා කළ ප‍්‍රථීඵලය නොලැබී යා හැකි ය. එසේ වූවහොත් නැවත වරක් ”HCG Strip” එකක් භාවිත කර පරීක්ෂා කිරීම කළ යුතු වේ.

පරීක්ෂණය සිදු කළ පසු එහි ප‍්‍රථිපල බලා ගන්නේ කෙසේ ද?

මෙලෙස ”HCG Strip” එක මුත‍්‍රාවල ගිල්වා විනාඩි 5ක පමණ කාලයක් තබා එය ඉවතට ගත් පසු ප‍්‍රථිපල බලා ගත හැකි ය.
ඔබ ඉහත දී මුත‍්‍රාවල ගිල්වා තැබූ ”HCG Strip” එක පිටතට ගත් පසු එහි වූ සුදු පැහැ සහිත කොටසේ රතු පැහැය හෝ ඊට ආසන්න පැහැයකින් එක් රේඛාවක් හෝ රේඛා දෙකක් දැකිය හැකි වේ. එමඟින් ඔබේ ප‍්‍රඵීපලය බලා ගත හැකි ය.

01) රතු පැහැ සහිත එක් රේඛාවක් සහිත වීම – මෙමඟින් පෙන්නුම් කෙරෙනුයේ ඔබ ගැබ් ගෙන නොමැති බවය. එනම් ප‍්‍රඵීපලය සෘණාත්මක වේ.

02) රතු පැහැති රේඛා දෙකක් වීම – මෙමඟින් ප‍්‍රථිපලය ධනාත්මක වන අතර ඔබ ගැබ් ගෙන ඇති බව හඟවයි.

03) ඉහත සඳහන් කළ රේඛා නොමැතිවීම – සමහර අවස්ථාවල දී ඉහත දක්වන ලද රේඛා සටහන් නොමැතිව ද දිස් වන අවස්ථා වේ. එය ඔබේ පරීක්ෂණයේ යම් ගැටළුවක් විය හැකි අතර නැවත වරක් නිවැරදිව පරීක්ෂණය කිරීම වැදගත් ය.

කෙසේ වෙතත් සමහර කාන්තාවන් ගැබ් ගත්ත ද ප‍්‍රතිඵලය සෘණාත්මක විය හැකි වන අතර ඔබේ ඔසප් චක‍්‍රයේ නතරවීමක් සහිත ඔබ ගැබ් ගැනීමට ඉඩකඩ ඇති බව හැගේ නම් සතියකින් පමණ නැවත මෙම පරීක්ෂණය සිදු කළ යුතු ය. එම අවස්ථාවේ දී ද ප‍්‍රථිපලය සෘණාත්මක වේ නම් වෛද්‍යවරයකු වෙත යොමුවීමෙන් ඔබේ ගර්භනී බව තහවුරු කරගැනීමට ඔබට හැකියාව ඇත.

”HCG Strip” එක භාවිත කිරීම ගැන ඔබට ගැටළුවක් තිබුණා නම් එය මඟ හැරෙන්නට ඇතැයි අපි සිතමු. මේ පිළිබඳව ඔබ මෙන් ම අනෙක් අය ද දැනුම්වත් කරන්නට බෙදා හරින්න.

කිරි සිහින දකින්නට වෙර දරන සුවහසක් මවුවරුන්ට ඔවුන්ගේ සිහිනය සැබෑ කරගන්නට නිතැතින්ම ආශිර්වාද කරමින් ගැබිණි ඔබට වැදගත් වන ලිපියකින් අපි නැවත මුණ ගැසෙමු.

Baby photo created by freepik – www.freepik.com