කාම සුත්‍රය රචනා වෙන්නේ මූලිකවම ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපතක් ලෙසම විඳින හැටි උගන්වන්නට. ලිංගික ජීවිතය ගැන අත්පොතක්(Sex Manual) ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
කාම සූත්‍ර වචනය නුහුරු එකක් නම් නොවේ. නමුත් පුංචි අමුත්තක් හිතේ ඇති කරන්නක්. ඒ අපි හුරු ගත්තු, ලෝකය බලන්න ගත්තු සංස්කෘතිය, සභ්‍යත්වය කියන මේ හදා ගත්තු රාමුව දමපු කණ්නාඩිය නිසාවෙන්. මේ කණ්ණාඩියෙන් බැලුවම නිරුවත, කාමය වගේ දේවල් අසභ්‍ය, ජුගුප්සාජනක, කඩතුරාවෙන් ඇතුලත රඟ දක්වන දේවල්. ඒත් ඒ ජීවිතයේ හැටි.පුහුදුන් ජීවිත ගත කරන අපේ ලෝකයේ “කාමය” නරක දෙයක් නොවේ. විඳිය යුතු සැපතක්. ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපවත්ව විඳිය යුතු දෙයක්. අතෙකින් එය සොබාදහමේ නියමයක් ඉටු කිරීමක්. වර්ගයා නොනැසී පැවැත්ම වෙනුවෙන් දමන අඩිතාලමක් වන්නටද පුළුවන්. මෙය තිරයෙන් ඔබ්බෙහි රඟ දැක්වුවත් උතුම් දෙයක්. විඳිය යුතු දෙයක්. පෙර විසුවන් අපට වඩා පරිසරය හා අනුගතව සිටි නිසාවෙන්දෝ මේ දෙය ටිකක් ගැඹුරින් දුටුවා. අපේ සංස්කෘතිය යැයි අද අපි කියාගන්නා සංකල්පයට අඩිතාලම වැටුණේ කියා සැලකෙන(පසු කාලිනව එක්වූ හරසුන් අන්තවාදී දෑ බැහැර කළ පසු) ඉන්දු-ආර්ය සමාජය තුල මේ දේ අපූරු ඇසකින් බැලුනා. මේ ලිපිය ලියන මගේද, ඔබේද, අතීතයේ සිටියා වූ, දැන් සිටින, අනාගතයේ උපදින සකල කාන්තා සංහතියේම දෙපා මෑත් කළ විට පෙනෙන ස්ත්‍රී ලිඟුව සංස්කෘත බසින් “යෝනි” ලෙස හැඳින්වුයේ පූජනීය අවකාශය(sacred space) නැතිනම් පූජනීය අරම(sacred temple) යන අරුතින්. ඒ සොබා දහමේ අපූරුතම සිදුවීමක් වන ජීවිතයකට උපත දෙන තිඹිරිගෙය වන නිසාවෙන්. පුරුෂ නිමිත්ත පවා ශිව ලිංගය ලෙස සංකේත ලෙස දක්වමින් පුද පූජාවට ලක්වුණා. සොබා දහමේ ඇදහිලි අතහැර සත්‍ය සොයා ගිය මුනිවරුන්ගේ ලෝකයේ පවා කම්සැප ගිහියන්ට අකැප වුණේ නැහැ. උතුම් බුද්ධ ඉගැන්වීම තුල පවා එලෙසමයි. සිඟාලෝවාද සුත්‍රය ඊට හොඳ නිදසුනක්. ඉතින් විඳවන ජීවිතය විඳින්නට ඔබට අත්වැලක් වන අපේ සඟරාවේ අලුත්ම ලිපි පෙළ හඳුන්වා දෙන්න අටුවා ටීකා, ටිප්පනි ගොඩක් ගෙනහැර පෑවේ ලිපි පෙලේ නම දැකපු ගමන් ඇතිවන තිගැස්ම මග හරවන්න. අද සිට සති පතා ඔබ වෙත ගෙන එන්නේ වාත්ස්‍යනයන්ගේ “කාම සුත්‍රය“.
කාම සුත්‍රය රචනා වෙන්නේ මූලිකවම ස්ත්‍රී-පුරුෂ සම්භෝගය සැපතක් ලෙසම විඳින හැටි උගන්වන්නට. ලිංගික ජීවිතය ගැන අත්පොතක්(Sex Manual) ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මෙය කිතු උපතටත් වසර 300ක් හෝ 400ට පෙර කළා යයි සැලකෙනවා. රචකයා පාඨලී පුත්‍රයේ(වත්මන් පැට්නා) විසූ වාත්ස්‍යන පඬිවරයා. සංස්කෘත දේවනගරී අක්ෂරයෙන් කාම සුත්‍රය ලියවෙන්නේ තඹ පතේ. කාම සුත්‍ර නම ඇසූ පමණින් සිතට එන්නේ රමණයේ දී එකතු විය හැකි ලිංගික ඉරියව්(Sex Positions) රැසක එකතුවක් විදියට. ඇත්තෙන්ම ඒ එහි එක් කොටසක් පමණයි. ආදරය, බැඳීම තුලින් ගොඩ නගා ගන්නා ශෘංගාරය තුලින් සොබා දම් නීතියට අවනත මනු සතුන් සේ රමණයට යොමු වීමත්, එහි ගැබ් වුණු අපූරු රසය විඳින ආකාරය මෙහි මූලිකව දැක්වෙනවා. කිසිඳු පාර්ශවයකට අගතියක් නොවන සේ, ජීවත් වන පරිසරය සමග සංස්කෘතික හෝ නෛතික ඝට්ටනයක් නොවන සේ බහු පුරුෂ ඇසුර(Polyandry) හෝ බහු ස්ත්‍රී ඇසුර(Polygamy) විඳීම කිසිම ලෙසකින් වරදක් නොවේ. ඒ ගැන පවා කාම සුත්‍රයේ සඳහන් වනවා. අනෙක් අතට අද සමාජයේ පවුල් සංස්ථා දෙදරා යන දරුණුතම ගැටළුවක් වන්නේ අනියම් ඇසුර. එය බොහොමයක් දුරට එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවය වෙත මග හැරෙන මානසික හා කායික අවශ්‍යතා සැපිරීමක ප්‍රතිපල. මේ නිසාවෙන් වන මහා ඛේදවාචක සෑම දවසකම වගේ අසන්නට, දකින්නට ලැබෙන්නක්. ඒ හේතුව නම් ඵලය මානසික-ශාරීරික නොගැලපීම්(හේතු ඵල න්‍යායට අනුව). මේ ගැලපීම් ගැන හොඳ පැහැදිලි කිරීම් රැසක් කාම සුත්‍රයේ දකින්නට පුළුවන්. අනෙක් අතට යහන්ගත වීමට නුසුදුසු අය කවුරු ද? ඒ ඇයි? ආදී පැහැදිලි කිරීම් රැසක් මින් ඔබට උගත හැකි වනවා.
උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුණත් ශ්‍රීමත් රිචඩ් බර්ටන් තමාගේ ජීවිත කාලය තුල විවිධ අංශවලින් අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත්තු පඬිවරයෙක්. සොල්දාදුවෙකු, රහස් ඔත්තු කරුවෙකු වගේම දේශ ගවේශකයෙකු, භූ විද්‍යාඥයෙකු, රචකයෙකු ලෙස විවධ අංශවල සමත්කම් පෙන්වපු ඔහු පෙරදිග භාෂා විශාරදයෙකු වුණා. එක දහස් එක් රැය(අරාබි නිසොල්ලාසය) වගේම ලිංගික අත්පොත් ලෙස පෙර-අපර දෙදිගම අද පවා මහා ඉහලින් පිළිගන්නා, වාත්ස්‍යනයන්ගේ කාම සුත්‍රය සහ The Perfumed Garden නැතිනම් අරාබි කාම සුත්‍රය ඔහු විසින් පරිවර්තනය කළ පොත් වුණා. මේ ලිපි පෙළ ඔස්සේ හැකි උපරිම පමණින් අසංෂිප්තව සහ නිරවද්‍යව ගෙන එන්නේ ඔහු 1883දී පරිවර්තනය කළ වාත්ස්‍යනයන් ගේ “කාම සුත්‍රය“.
ඇත්තෙන්ම ඔව්. ඉගෙනීමට ගැහැණු-පිරිමි භේදයක් නැහැ. අද ලෝකයේ කුමන අංශයේ වුණත් කාන්තා නියෝජනය පිරිමි තරමටම ප්‍රබලයි.සක්වල තරණයට පවා කාන්තාවන් එකතු වන්නේ 1963 පමණ. ඒ වැලෙන්තිනා තෙරෙස්කොවා. ඒ තරමටම කාන්තා ලෝකය ප්‍රබල වෙලා. මේ සියළු දැනුම වගේම සාර්ථක කාන්තාවක වන්නට ප්‍රගුණ කළ යුත්තක් “රති කලාව”.ඒ යහනේදී ඔබේ ලිංගික සහකරුවන් පිනවන්නට ඔබ තුල ඇති සමත් කම. විටෙක එය මහා අධිරාජ්‍ය බිඳ දමන තරමේ ප්‍රබල අවියක්. ගැහැණු ඔබ සතු විය යුතු අවියක්. ඉතින් මේ කාම සුත්‍රයේ දැනුම වැඩිපුරම වටින්නේ මේ කාන්තා අප-ඔබ සඳහාමයි. තුරුණු වයසේ නිරෝගී ගැහැණියක් කිසි විටෙක යහනේදී මළ මිනියක් නම් නොවිය යුතුයි. ඔබ තුල සිටින රති දෙවඟන අවදි කළ යුතුයි. අපි මවා ගත් ඊනියා සභ්‍යත්වය තුල මෙය අසභ්‍ය ගණයේ දෙයක් ලෙස පෙනුනත් පෙරදිග දර්ශනයන්ගේ, ඉගැන්වීම්වල හරය අපූරු දෙයක්. එය ජීවිතය විඳවන්නේ නැතිව විඳින්නට උගන්වන දෙයක්. අද වන විට භාවනා, යෝග ආදී ආධ්‍යාත්මික පුහුණු කිරීම් කෙරෙහි විවෘත ඇසකින් ලෝකය දකින බටහිර සමාජය යොමු වන්නේ ඒ නිසා. ලෞකික සැප, සැපක් ලෙස විඳීමට සොයන කොටස් කාම සුත්‍රය, තාඕ ලිංගික ඉගැන්වීම් ආදිය මහා ඉහලින් පිලිගන්නක්. මේ නිසාවෙන්ම යම් කාන්තා කොටසක් Sexology, Tantra උපදේශක සේවාවල යෙදෙනු දකින්නට පුළුවන්. Zest Girls Sri Lanka සමග ඉදිරියේ ඔබට එවැන්නන් මුණ ගැසෙනු ඇති.ඉතින් අපේ අරමුණ දැනුම නමැති ධනයෙන් ඔබ පොහොසත් කිරීම. ඉතින් සෑම සිකුරාදා දිනකම ගෙන එන මේ විශේෂ ලිපි පෙළ සමග අපේ සිංහල බස කියවන පාඨක කැල රැඳී සිටීවි යයි අපි බලාපොරොත්තු වනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…