අද අපි Zest Girls වලින් කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ කතා කරන්න පුළුවන් මාතෘකාවක් හිතුවා. Love & Relationships යටතේ හැමදාම ආදරය සහ සම්බන්දතා ගැන නිතරම කතා කරනවා. මේ සඟරාවේ ප්‍රධාන කර්තෘවරිය හැටියටත් ලිපි ලියන්නියක් හැටියටත් බොහෝ දෙනෙකුගේ අදහස්වලට ලක්වන මාතෘකාවක් පිලිබඳ අද මේ තුලින් ඉදිරිපත් කරන්න හිතුවා. මාගේ ජීවිතය පෞද්ගලිකව මේ මාතෘකාව පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති නිසා ඒ ගැන මාගේ අදහස මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හිතුවා. ඒ වගේම සමාජයේ බොහොමයක් දෙනා දරණ පොදු මතය මගේ මතයටම හේතු වෙන්න ඕනේ කියලා මම කිසිවිටෙක හිතන්නේ නැහැ. ඉතින් අපි අද බහු පුරුෂ ඇසුර සහ බහු ස්ත්‍රී ඇසුර පිලිබඳ ව අදහස් ඔබ වෙත ගෙන එනවා. මෙහිදී විවිධ පුද්ගලයින් විවිධ මත දරණ අතර කාන්තාවන් එක් අදහසකුත් පිරිමින් තවත් අදහසකුත් දක්වනවා. ඒ කෙසේ වෙතත් මෙහිදී මා ඉදිරිපත් කරන්නේ ඒ පාර්ශව අතර අදහසක් නොව මාගේ පෞද්ගලික අදහසයි.

කාන්තාවන් බහු පුරුෂ ඇසුරකට යොමු වීම ගැන කතා කරන විට සමාජයේ මුලින් ම අංක 1 ට කතා කරන්නේ ඒක ලිංගික අවශ්‍යතාවයක් විදියටයි. නමුත් ඒක 100% ක්ම වැරදි මතයක්. ලිංගික අවශ්‍යතාවයක් කියන්නේ මනුෂ්‍ය ජීවිතයක එක කොටසක් මිසක් මුළු ජීවිතයම නොවන බව මතක තබා ගත යුතුයි. කාන්තාවක් නම් බොහෝ විට තම පෙම්වතා/ස්වාමියාට වඩා වෙනත් බාහිර පිරිමියෙකු සමග සම්බන්දතාවයක් පවත්වනවා නම් සමාජය ඊට විවිධ මත ඉදිරිපත් කරනවා. එම මත 100%ක්ම නිවැරදි හෝ 100%ක් වැරදි හෝ විය හැකිය. නමුත් කිසිවෙකුට ඔවුන්ගේ අභ්‍යන්තරය පිටතට නොපෙනෙන නමුත් සමාජයේ පොදු මතය ඉලක්ක කර ගනිමින් ඒ සම්බන්දය හරහා විවිධ අපහසුතාවන් ගොඩ නැගෙනවා. කාන්තාවක් බොහෝ වෙලාවට වගකීම් සහ යුතුකම්වලට බැඳෙමින් සහ හිරවෙමින් බොහෝ තාඩන පීඩන මැද දුක් කම්කටොළුවලට මුහුණ දෙනවා. විවාහයකදී නම් ඊට පෙර එනම් ප්‍රේම කරන අවස්තාවේදී ඔවුනොවුන් ජීවත් වීමට සැලසුම් කර ගත් ආකාරය කෙසේ හෝ වෙනස් වී ඇති නම් එයිනුත් කාන්තාව දැඩි අපහසුතාවයට ලක් වෙනවා.

ගැහැණියක් දරුවන් ලැබීමත් සමගම, ඇයට හිමිවන මහා කාර්යභාරයත් සමගම විශාල ලෙස මානසික පීඩනයකට ලක් වෙනවා. දරුවන්ගේ සහ නිවසේ සියලු වැඩත්, ස්වාමියාගේ වැඩ කොටසත්, රැකියාවක නිරත වේ නම් කාර්යාලිය වැඩ කොටසත් ඇයගේ හිසට විශාල බරක් ගෙන එනවා. එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ ඇයට ඒ සියලුම දේ තනිවම කර ගන්නට සිදුවීමයි. ඒ ඒ අවස්ථාවන් හිදී ඇය සතුව විශාල ලෙස වගකීම් සහ යුතුකම් බැඳී පවතිනවා. තමා ගැනවත් නොසිතා උදේ සිට රාත්‍රී නින්දට යන තුරුත් දවස මුළුල්ලේ ම විවිධ කටයුතුවල නිරත වන ඇය සමහර දිනවල රාත්‍රී නින්දක් වත් නොලබනවා ඇත. කෙතරම් වෙහෙස වුවද තම ස්වාමියා වෙනුවෙන් නිදි යහනේදී පවා සියළු යුතුකම් වගකීම් ඉටු කරන බිරින්දෑවරු අප සමාජයේ නැතුවා ම නොවේ.

ස්වාමිපුරුෂයන් බොහෝ විට තමාගේ වැඩ රාජකාරි වල සහ කාර්යාලයේ කටයුතුවලින් හෙම්බත්ව සිටින නිසා අසීමිතව නිවසේ වැඩ කටයුතු සිදු කරන තම බිරිඳගේ වැඩ කටයුතුවලට අවධානය යොමු කරන්නේ කලාතුරකින්. ඒ නිසා බොහෝ විට කාන්තාවන් ට ස්වාමියාගේ අවධානය හිමි වන්නේ ඉතා සුළු වශයෙන්. මේ නිසා පිටස්තර පිරිමියෙකුගේ කාරුණික වදනක් ඇසීම හෝ කතා බහ කිරීම ඇයට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් විය හැකියි. පසු කාලීනව මේ මිතුරු සම්බන්දතා දුර දිග යාමෙන් දෙදෙනා ලිංගික සහකරුවන් වීමටත්, දෙදෙනා අතර අපේ සමාජ ව්‍යවහාරයේ පවසන පරිදි අසම්මත ප්‍රේම කතා ඇරඹීමටත් ඉඩ තිබෙනවා. අපි බහු පුරුෂ සේවනය යන්නෙන් ලංකාවේ කතා කරන්නේ ඔය ඉහත කී කාරණාව සම්බන්දයෙනුයි. එනමුත් විවෘත සම්බන්දතා යනු බොහෝවිට බටහිර රටවල්වල කාන්තාවන්ගේ ජීවිතයේ එක් පැතිකඩකි. එම කාන්තාවන් තමාගේ අධික මානසික පීඩනය මුදා හරින්නේ මෙම ඇසුර මගිනි. බොහෝ විට පිරිමින් කීපදෙනෙකු සමග ලිංගිකව හැසිරීම මේ කොටසට අයත් වෙනවා. බොහෝ බටහිර කාන්තාවන් සතු තවත් ලක්ෂණයක් නම් ඇය තම ස්වාමියා හැර බොහෝ පිරිමින් සමග ලිංගිකව හැසිරීමයි.

අපි දැන් බහු ස්ත්‍රී සේවනය ගැන කතා කළොත් එයත් පෙර පරිදි ස්වාමි පුරුෂයා විසින් සියලුම වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමේදී බිරිඳ සියලු වගකීම් යුතුකම් අතහැර දමමින් ඇයට හිතුමතේ ජීවත් වීම නිසා බොහෝ පිරිමින්ට අත්විඳීමට සිදුවන ඛේදජනක සිදුවීමකි. බොහෝ විට ස්වාමියා රැකියාව කර නිවසට එන විට භාර්යාව නිවසේ රැඳී නොසිටීමට පුළුවන්. බොහෝ විට විනෝදයට බර සමාජශීලී චරිතයක් නම් රාත්‍රී සමාජ ශාලාවක හෝ එසේත් නැතිනම් ඇයගේ මිතුරු මිතුරියන් සමග විනෝදයෙන් කල් ගත කිරීමට යාමට පුළුවන්. තමාගේ ස්වාමියාව කිසි ලෙසකින්වත් නොසලකා හරින බොහෝ කාන්තාවන් මේ ආකාරයෙන් තම වගකීම් සහ බැඳීම්වලින් ඉවත් වී තමාගේ සතුට පමණක් සොයමින් විවිධ ජීවිත ගත කරයි. තම මිතුරන් ඇසුරේදී ස්වාමියා විවේචනය කරමින් ඔහුගේ අඩුපාඩු සහ වැරදි දේ නිතර නිතර බාහිරට පවසමින් ජීවත්වන කාන්තාවන් නිසා ස්වාමි පුරුෂයන් බොහෝ විට තමා ගැන අවධානයෙන් සොයා බලන පිටස්තර කාන්තාවන් වෙත නැඹුරු වෙනවා. මෙහිදීත් මේ ඇසුර එක් කාන්තාවක් හෝ වැඩි ගණනක් සමග වන්නට පුළුවන්. තම අවශ්‍යතාවය මත ලිංගික ඇසුර පැවැත්වීමට ඔවුන් පසුබට වන්නේ නැහැ. මේ සඳහා ඔවුන් බොහෝ විට තෝරා ගන්නේ විවාහක හෝ විවාහය දෙදරා ගිය කාන්තාවන් විය හැකිය. පිරිමින්ට වඩා කාන්තාවන් ශාරීරිකව ශක්තිමත් නොවුවද විවිධ ගති ලක්ෂණ ඔවුන් කෙරේ තිබෙන්නට හැකියි. පිරිමි මේ සම්බන්දතා සඳහා ඉතා ඉක්මනින් යොමු වීම සුලබ කරුණක්. බොහෝ විට කාන්තාවන්ගේ ඇසුරට පත්වන පිරිමින් ඇයගේ මුදල් අවශ්‍යතා සහ වෙනත් අවශ්‍යතා සඳහා තමා රඳවා ගන්නා බව නොදැන ඇය වෙතම රැඳී සිටිනවා. විවාහක පිරිමියෙකුගේ විවාහය දෙදරා යාමට ඉතාම ආසන්න බව දකින පිටස්තර කාන්තාවන් ඔහු වෙතට වැඩි නැඹුරුවක් දක්වන්නේ ඔහු කෙරේ දක්වන්නා වූ අනුකම්පාවට වත් අසරණ කමටවත් උදව් කිරීමට ඇති නිහතමානී ගති ලක්ෂණයට නොවේ. එම කාන්තාවගේ හුදෙක්ම අවශ්‍යතාවයන් සඳහා පමණි. පිරිමි කාන්තාවන් මෙන් මානසිකව ශක්තිමත් කොටසක් නොවන නිසා පිටස්තර කාන්තාවන් ඉදිරියේ තමාගේ දුර්වලකම් පැවසීමට පසු බට වන්නේ නැහැ. ඔහුගේ එම දුර්වලකම් දැන ගන්නා අනෙකුත් පාර්ශව විසින් කිසියම් හෝ අවස්ථාවක ඔහුට අපහසුතාවක් සිදු කිරීමට වුවත් පසුබට නොවේ. ඒ නිසාම පිරිමි බොහෝ විට කාන්තාවන් මෙන් නොව තමාට ම අයහපතක් සිදු කරගෙනනේ නිරායාසයෙන්. මානසික මට්ටම ඉතාම දුර්වල ව පවතින පිරිමියෙකු හට කපටි කෛරාටික ස්ත්‍රියක් මුණ ගැසීමෙන් සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සියලුම සිද්ධීන් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම එක ලෙසින් බලපාන පොදු කාරණාවල්. අවසානයේ දී බාඳුරා මලකට වැටී මිය යන කෘමි සතෙකුට ස්ත්‍රිය සහ පුරුෂයා සමාන වේ.