ජීවිතය පුරාවටම සතුටින් සිටින්නට හැකි නම්…ඊටත් වඩා වාසනාවක් ඇත් ද? නමුත් අපි පතන සතුටට වඩා අපට හැමවිටම ලංවන්නේ දුක්-කරදර. ඒ ජීවිතයේ හැටි. අනෙක් අතට තලන්නට තලන්නට පන්නරය ලබන වානේ මෙන් අපේ ජීවිතය සාර්ථක ශක්තිමත් එකක් කරන්නේත් මේ දුක්-කරදර ම තමයි. අතෙකින් මෙය ජීවිතයට දෛවයෙන් දෙන පරීක්ෂාවක්. දුක් කරදරවලට හුරු වී සතුටින් ජීවත් වන්නේ කෙසේ ද?

ඔබ පෙළන උභතෝකෝටිකය – “දැන් කුමක් වේවි ද?”

ඔබ පසුතැවීමේ ප්‍රවීණයෙකු නම්(සමහරු පුරුද්දක් ලෙස, සතුටින් සිටිනවාට වඩා සෑම දෙයකින්ම පසුතැවිල්ල ම අත් විඳිති 🙂 ) මේ “දැන් කුමක් වේවි ද?” යන අවිනිශ්චිත සිතුවිල්ල ගැටළුවක් ම පමණක් ම වනු ඇති. ඒ ඔබේ යටි සිත, ඔබ නොදැනුවත්වම හෝ සෑම දෙයකින්ම ඍණාත්මක ප්‍රතිපලයක් බලාපොරොත්තු වන නිසාවෙනි. ඔබ බොහෝ විට පුරුදුව සිටින්නේ ලැබෙන ප්‍රතිපලය ඔබට අවැඩක් වන, ඔබට මුහුණ දිය නොහැකි, කළමනාකරණය කරගත නොහැකි එකක් සේ දැකීමටයි. බොහෝ පසුතැවිලි සිතුවිලි ඍණාත්මක වුවත් ඒවා ගොඩ නැගෙන්නේ එක් ආකාරයක ආරක්ෂක පලිහක් ලෙසයි. ඒවා ඔබව අවදානම්වලින් වලක්වන්නට සමත්. කරදරයක වැටී සැබවින්ම දුක විඳිනවට වඩා අවිනිශ්චිත හැඟීම නිසාවෙන් ප්‍රතිපලය දැන, දුක දැන ඒවා මග හැරීමට කටයුතු කිරීම වැදගත්. උදාහරණයක් ලෙස යම් සිදුවීමක ප්‍රතිපලය බියගන්වන තත්ත්වයක් නම් හෝ අන් අයගෙන් ලැබෙන සහතිකය විශ්වසනීය එකක් නොවේ නම් එවැනි දෑ බැහැර කිරීම වඩා යහපත් වේ.

Background photo created by freepik – www.freepik.com

අවාසනාවකට වේවා…වාසනාවකට වේවා…අප ජීවිතයේ බොහෝ සිදුවීම්, ක්‍රියා සමග මේ අවිනිශ්චිත භාවය දකින්නට පුළුවන්. මෙය ඕනෑවට වඩා දකින්නට උත්සහ කිරීමෙන් ඔබට සෑම දෙයක් කෙරෙහිම ඇතිවන්නේ බියක් පමණයි. මෙය කෙසේවත් ජීවිතයක සතුට දකින්නට නම් හේතු වන්නක් නොවේ. “කිසිඅම දෙයක් පමණට වඩා අවශ්‍ය නැත” යන කියමන නොවේද මින් ගම්‍ය වන්නේ. මැදහත් ව සෑම දෙයක් සමගම ගණුදෙනු කිරීම ඔබට සැනසිල්ලක් ගෙන දෙනු ඇති. පෙරළුණු පිට හොඳයි කියන්නාක් මෙන්, සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත්තා මෙන් බොහෝ දෑ හොඳ අතට හැරී විසඳෙනු ඇති. නැතිනම් සෑම දුක් කරදර ගොන්නකම පුංචි හෝ සතුටක්, සහනයක් දකින්නට ලැබෙනු ඇති.

අවිනිශ්චිත බව පිලිබඳ හැඟීම ජීවිතය සමග රඳවා ගන්න. නමුත් ඒ හා පහසුවෙන් ගනුදෙනු කරන්නට හුරුවන්න. ඔබ අවිනිශ්චිත බව හා විවෘතව ගනුදෙනු කරන්න. ඕනෑම කටයුත්තකදී ඉතා විරලව වුවත් අත් විඳීමට විය හැකි නරකම ප්‍රතිපලය(worst-case scenario) මෙනෙහි කරන්න. ඊට මුහුණ දීමට සුදානම් වන්න. යම් හෙයකින් නරක ප්‍රතිපලයක් ලැබුනත් ඔබ ඊට සුදානම්.

උදාහරණයක් ලෙස වෙන්කර ගන්නා හමු වීම් සඳහා ප්‍රමාද වේ යැයි සිතා ඔබ සෑම විටම මිනිත්තු 30ක් කලින් පිටත්වීමට හුරු වී ඇතැයි සිතන්න. Bhur යෝජනා කරන්නේ එම පුරුද්ද අත් හරින ලෙසයි. එහි ප්‍රතිපල ලෙස, ඔබ කලට වෙලාවට කටයුතු කිරීමට හුරු විය හැකියි, නැතිනම් ඔබ හා හමුවන පුද්ගලයා ප්‍රමාදය නොසලකා ඔබ තේරුම්ගෙන කටයුතු කරනු ඇති, නැතිනම් අලුත් රැකියාවක් සොයා යාමට තරම් නරක ප්‍රතිපලයක් කරා ඔබව ගෙන යනු ඇති.

සතිපට්ඨාන භාවනාව(Mindfulness Meditation) දුක් දොම්නස් නසන අවියක් කරගන්නේ කෙසේ ද?

ඒකායනෝ අයං භික්‍ඛවේ සත්ථානං විශුද්ධියා – සෝක පරිද්ධවානං සමතික්කමාය – දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය – ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා,
(මහණෙනි එකම එක මාර්ගයක් ඇත සත්වයාගේ පිරිසුදු වීම පිණිස, ශෝක කිරීම, හඬා වැලපීම්, සුසුම් හෙලීම් දුරලීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයාගේ නිරුද්ධිය පිණිසත් (තමන්ගේ නොකරගැනීම), සිව්සස් ධර්මයන්ගේ අවබෝධය පිණිසත්, එනම් සතර සතිපට්ඨානයයි.) – මහා සතිපට්ඨාන සූත්‍රය

**සටහන: අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම් හුරු බහුතර බෞද්ධ පිරිසකට සතර සතිපට්ඨානය (කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව) අරුම පුදුම දෙයක් නම් නොවේ. නමුත් මේ ලිපිය තුලින් එම දහම් කරුණ ගැඹුරට විස්තර කිරීමක් සිදු නොවේ. Reader’s Digest ලිපියෙහි අන්තර්ගත කරුණු පමණක් සැකෙවින් විස්තර කෙරෙනු ඇති.

People photo created by pressfoto – www.freepik.com

The Quiet Company නම් භාවනා පුහුණු ආයතනයේ නිර්මාතෘවරිය වන එමිලි ත්‍රින්ග්(Emily Thring) සතිපට්ඨාන භාවනාව පිලිබඳ දක්වා ඇති කරුණු 04ක් පහත දැක්වේ.

සතිපට්ඨාන භාවනාව යනු කුමක් ද?

එහිදී ඔබ අවධානය යොමු කරනුයේ හුස්ම වැටෙන මේ මොහොත කෙරෙහිය. විනිශ්චයකින් තොරව ඔබ ඇත දකින සහ දැනෙන දෙය පිලිබඳ සිත යොමු කිරීම සිදු කෙරේ.

සතිපට්ඨාන භාවනාව දුක/වේදනාව කෙරෙහි යොමු කරන්නේ කෙසේ ද?

කනස්සලු සිතුවිල්ල අනාගතය හා බැඳුණු සංසිද්ධියක්. මනා සතිය(සිහිය) පිහිටුවා ගැනීමෙන් ඔබ “මේ මොහොත” කෙරෙහි බැඳ තබන අතර සිදු වීමට යන දේ පිලිබඳ කනස්සලු ස්වභාවය අඩු කරයි. එවිට ඔබට වර්තමානය සමග මනා වැටහීමකින් ගනුදෙනු කිරීමට හැකිවේ.

ඔබ සතිපට්ඨාන භාවනාව පුහුණු කරන්නෙකු නොවේ නම් මේ මුලධර්ම උපකාරී නොවේ ද?

සිහිය යනු භාවනාව තුලදී පමණක් පහළවන්නක් නොවේ. එය ඔබ හා මුළු ජීවිත කාලය පුරාවටම බැඳී තිබෙන්නක්. සිදුවන්නේ ඔබ මනා සිහියකින් සිටීද, නැතිද යන්නයි. මනා සිහියකින් සිටී නම් එය ඔබේ ජීවිතයේ සෑම තත්පරයක් සමගම ඵලදායී ලෙස කටයුතු කෙරෙනු ඇති. ඔබ යම් අයුරකින් දැඩි මානසික කැළඹීමකින්, පසුතැවිල්ලකින් පසු වන විටෙක පුරුදු පුහුණු කළ මනසක් ඇත්තේ නම්, මනසේ ක්‍රියාකාරිත්වය අඩු කර, පාලනය කර ප්‍රතික්‍රියාවකින් තොරව පවත්වා ගැනීමේ හැකියාව පවතී. එය තවත් නරක ප්‍රතිපලයක් කරා යනවාට වඩා කොපමණ අගනේ ද? දවස පුරා කළ යුතු ලැයිස්තුවක් (to-do list) අප සෑම දෙනෙකුටම තිබෙන දෙයක්. කළ යුතු දෑ වලින් කොපමණක් සපුරා ඇති ද? අතපසුවන දෑ කොපමණ ද? සිතට වද දෙන්නක් නොවේ ද? එහි ද අවසාන ප්‍රතිපලය කණස්සල්ල නොවේ ද? පුහුණු කළ මනසක් ඇත්නම් ඔබට ඒ මතුවන කණස්සල්ලට ඉඩ නොලැබෙන සහනයක් සිතට දැනෙන අවකාශයක් ඔබ තුලම ගොඩ නගා ගත හැකි වේවි. උදාහරණයක් ලෙස ඔබේ වෙබ් බ්‍රවුසරයේ විවෘතව ඇති ටැබ් ගණන වැඩිවන විට විටෙක එය අවුල් ජාලයක් වෙනු ඇති. වේගය අඩු වෙනු ඇති. බ්‍රවුසරය ක්‍රියා විරහිත කර යලි පන ගැන්වූ විට අලුත් ආරම්භයකි. අවුල් සහගත බවද දුරු වී ඇති. වේගයද වැඩිය.

කෙනෙකු මෙය පුහුණුවට යොමු වන්නේ කෙසේ ද?

භාවනාව වැනි දේ වරක් කළ සැනින් මුළු ජීවිතයම එක සැණින් වෙනස් කරන ප්‍රතිහාර දෙයක් නොවේ. එය නිරතුරුව ප්‍රගුණ කළ යුතු දෙයක්. ආරම්භයක් ලෙස සෑම දිනකම වෙන්කර ගත් පුංචි වෙලාවක් මේ වෙනුවෙන් ඉඩ තබන්න. නිතර ප්‍රගුණ කිරීම මෙන්ම ඒ වෙනුවෙන් ඔබ කරන කැප කිරීම, සාර්ථක ප්‍රතිපල ලබා දෙනු ඇති.

තුන්වන කොටස ළඟදීම…

**Asia Reader’s Digest හි පළවුණු Jill Buchnerගේ Taming the ‘What Ifs’ ලිපිය ඇසුරෙනි.