මලිත් හෑගොඩ ගේ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රවීණ ඡායරූප ශිල්පී ලාල් හෑගොඩයන්ගේ නිෂ්පාදනයෙන් දොරට වඩින “දැකලා පුරුදු කෙනෙක්” සමාජයේ සුලබව මුණගැහෙන චරිත කීපයක් ගොනු කර ඒ වටා ගොඩ නැගු කතා පුවතක්. දිනිති තම විවාහ ජීවිතය තුල බලාපොරොත්තු වන, එහෙත් සිය සැමියාගෙන් නොසැලකිලිමත් ලෙස මග හැරෙන ජීවිතය නිසා මුහුණ දෙන්නා වූ මානසික අරගලයත් ඒ නිසාවෙන් ඇතිවන්නා වූ ගැටළු සමුදායත් මෙහි මූලික හරය ලෙස ගෙන හැර දක්වන්නට පුළුවන්. කෙනෙකුගේ සිතුම් පැතුම්, අවශ්‍යතා විවිධ වන්නට පුළුවන්. එය මිනිස් ගතිය. එක් පසෙකින් සංස්කෘතියක් සභ්‍යත්වයක් කරපින්නාගෙන ඒ රාමුවක කොටුවී දුක් විඳින්නට වීම විශේෂයෙන්ම දකුණු ආසියාතික අපගේ උරුමයක් වෙලා. මෙවැනි කුටුම්බයන් තුල පීඩනය අධික වී අවසානයේ වන පිපිරීම් මුළු පද්ධතියම බිඳ දැමීමට හේතු වෙනවා. හොඳම දෙය නම් එකිනෙකා හොඳින් වටහා ගෙන, මනුෂ්‍ය ස්වභාවය වටහාගෙන තම තමන්ගේ යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු කරමින් අරමුණු කරා යාමයි.මෙය අපට පසක් කරවන මේ සිනමා නිර්මාණය තුල අප සමාජයේ බහුතර පොදු ගැහැණිය “දිනිති” නිරූපණය කරමින් සමාධි ලක්සිරි දක්වා ඇති දායකත්වය ප්‍රශංසනීය වනවා. බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ සිත්තමේ සෙසු හිදැස් පුරවමින් මීට දායක වනවා. ඉතින් “දැකලා පුරුදු කෙනෙක්” එක්ක මුණ ගැහෙමු.