2018 පෙබරවාරි 24 ලෝකය පුරාම සිටින බොලිවුඩ් රසික රසිකාවියන්ට දුක් මුසු දවසක් වුණේ ආදරණීය තරුවකගේ නික්ම යාම නිසා. ඒ බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තාරුකාව ලෙස කිරුළු පළන් ශ්‍රී දේවි බොනී කපූර් ඩුබායි හි දී හදිසි අනතුරකින් ජීවිතයෙන් සමු ගැනීමයි. අවුරුදු 54ක් වැනි අඩු වයසකින් අකල්හි සමුගත් ඇගේ මරණය අදටත් නොවිසඳුණු අභිරහසක් වෙලා. ඒ පිලිබඳ අධිකරණ කටයුතු තවමත් සිදු වෙමින් පවතිනවා. මියගොස් වසරක් ඉක්ම ගොස් තිබුණත් ඇගේ ජනප්‍රියත්වය නම් වැඩි වී මිස අඩු වෙලා නම් නැහැ. පසුගිය දා ශ්‍රී දේවි ගැන කතා බහ අලුත් වුණේ ඇගේ ඉටි ප්‍රතිමාවක් සිංගප්පූරුවේ මැඩම් ටුසාඩ්ස් කෞතුකාගාරයේ නිරාවරණය කිරීමත් සමග. ඇගේ වැඩිමල් දියණිය වන නවක නිළි ජාන්වී කපූර් අතින් මේ ප්‍රතිමාව නිරාවරණය වුණා. මේ අවස්ථාවට ඇගේ සැමියා වූ බොනී කපූර්, බාල දියණිය කුෂි කපූර් සහ සංජය කපූර් ද සහභාගී ව සිටියා.