Victoria’s Secret කාන්තා යට ඇඳුම්(lingerie) සන්නාම අතර ඉහලින්ම වැජඹෙන, විලාසිතා ලෝකයේ බලපෑම් කිරීමට සමත් වූ එකක්. වාර්ෂිකව පැවැත්වෙන අලුත් නිෂ්පාදන පෙළ හඳුන්වා දීමේ Victoria’s Secret විලාසිතා දැක්ම ලෝකයේ විශාල ජනකායක සිත ඇද, බැඳ ගත්තක් වුණා. විලාසිතා ලෝකයට නව මුහුණු හඳුන්වා දීමට සේම ඒ නිරූපිකාවන් විලාසිතා ලෝකය තුල සන්නාම බවට පත් කිරීමට සමත් වූ මේ විලාසිතා දැක්ම විලාසිතා ලෝකයේ දින දර්ශනයේ විශේෂ තැනක් හිමි කර ගත්තා. මේ වාර්ෂික උළෙල CBS නාලිකාව තුලින් විකාශය වූ අතර ඒ වෙනුවෙන් පෙළ ගැසුණු ප්‍රේක්ෂක පිරිසක් ද ගොඩ නගා ගෙන සිටියා. නමුත් විවිධ දූෂමාන ආරංචි සමගින් කල එලි බට අයුරින්ම මෙවර සිට Victoria’s Secret විලාසිතා දැක්ම ප්‍රදර්ශනය නොකරන බව වික්ටෝරියාස් සීක්‍රට් මව් සමාගම වන එල් බ්‍රෑන්ඩ්ස් හි විධායක උප සභාපති ස්ටුවර්ට් බී. බර්ග්ඩෝෆර් නිල වශයෙන් දන්වා තිබෙනවා. මෙම විකාශනය මෙම ව්‍යාපාරයේ සන්නාම ගොඩනැගීමේ ඉතා වැදගත් අංගයක් වූ අතර එමගින් සන්නාමය ස්ථානගත කිරීම, අලෙවිකරණය ආදී අංශ වලින් අප ලැබූ ජයග්‍රහණ ද සුළු පටු ඒවා නොවේ. නමුත් වෙනසකට ඉඩ තබමින් මෙවර සිට මෙම රූපවාහිනී විකාශය නවතා සන්නාමය ගොඩ නැගීමේ නවමු මාවත් කෙරෙහි අප අවධානය යොමු වී තිබෙනවා. වෙළඳ නාමයේ ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීම සහ එය ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා නව ක්‍රමෝපාය කෙරෙහි වික්ටෝරියාස් සීක්‍රට් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් මේහාස් අවධානය යොමු කර ඇති බවද ඔහු සඳහන් කළා.

Photo credit: https://www.gettyimages.com/