කන්ගනා රනෞට්(Kangana Ranaut) බොලිවුඩ් සිනමාවට පා තබන්නේ 2006දී අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ Gangster චිත්‍රපටයෙන්. බටහිර පන්නයට මිශ්‍ර සරාගී පෙනුමක් ඇති ඈ තම පළමු චිත්‍රපටයෙන්ම වසරේ හොඳම නවක නිලියට හිමි Filmfare, Zee Cine Awards, Star Screen, Global Indian Film Awards, International Indian Film Academy Awards, Stardust Awards ඇතුළු සම්මාන රැසක් දිනාගන්නට සමත් වුනා.

සරාගී චරිතවලටම සීමා නොවී විවිධ පරාසයක පැතිරුණු චරිත සමග Woh Lamhe, Fashion, Raaz : The Mystery Continuous, Tanu weds Manu, Game, Ready, Krish3, Rajjo, Queen, Ungli, Tanu weds Manu Returns, Katti Batti, Rangoon සහ Simran චිත්‍රපට තුලින් චරිතාංග නිළියක ලෙස සිය රංගන කුසලතාවය එළිදක්වන්නට ඇයට හැකි වුනා.

Image credit : www.imdb.com

2019 වසරේ කනගනා රනෞට් අපට මුලින්ම හමුවන්නේ Manikarnika : The Queen of Jhansi සමගින්. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුණු ඉන්දීය වීරවරියක වූ ජාන්සිහි රැජින රාණි ලක්ෂ්මිබායි ගේ ජීවන කතාව ඇසුරෙන් ගොඩනැගුණු මනිකර්ණිකා ඓතිහාසික චරිතාපදාන චිත්‍රපටයක්. එහි රාණි ලක්ෂ්මිබායිගේ චරිතය හෙවත් ප්‍රධාන චරිතයට පණ පොවන කන්ගනා මෙහි අධ්‍යක්ෂනයටද Radha Krishna Jagarlamudi සමග එක්ව කටයුතු කිරීම විශේෂයක්. මීට පෙර Queen(2014) හි දෙබස් රචනයෙන්ද, Simran(2017) හි තිර රචනයෙන්ද දායක වී ඇති කන්ගනා සිනමාව තුල පුළුල් පරාසයක පැතිරුණු ඇගේ කුසලතාවයන් වඩා ඔප් නංවමින් පළමු චිත්‍රපට අධ්‍යක්ෂණයට දායක වනවා.

ඉන්දියානු රුපියල් කෝටි 125ක පමණ වියදමකින් නිර්මාණය කළ
Manikarnika : The Queen of Jhansi මේවන විට කෝටි 130
ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.4 ගන්නා මනිකර්ණිකා Amazon Prime Video
මගින් ලොව පුරා ප්‍රේක්ෂක ජනතාව වෙත ප්‍රචාරණය කරනු ලබනවා.

Image Credit : www.mostinside.com

Source : www.filmfare.com